බෝඹුරු ඇල්ල



බෝඹුරු ඇල්ල හෙවත් පෙරවැල්ල ඇල්ල ලෙස හැඳින්වෙන අතිශය සුන්දර මෙම දිය ඇල්ල ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත.එය පිහිටා ඇත්තේ නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල මායිම් ආසන්නයේ වැලිමඩ නගරයේ සිට කිලෝමීටර් 15 පමණ දුරිනි.ඇල්ල උසින් මීටර් 50 ක් සහ පළල මීටර් 20 ක් වේ. 


ශ්‍රී ලංකාවේ පළලම දිය ඇල්ල මෙය වන අතර මෙම දිය ඇල්ල කුඩා දිය ඇලි රාශියකින් සමන්විත වේ. බෝඹුරු ඇල්ලෙහි මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ පිහිටි වැවකි.බෝඹුරු ඇල්ලෙහි ජලය ප්‍රදේශයේ බාලාගාරයක් වෙත හරවා යවා ඇති අතර වගා කටයුතු සඳහා ද යොදා ගෙන ඇත.මෙම දිය ඇල්ල පුළුල්ම දිය ඇල්ලක් ලෙස සැලකිය හැකි අතර ඇල්ල ආසන්නයේ කඳවුරු බැඳීම සඳහා ඉතා යෝග්‍ය වේ. දෙස් විදෙස් සංචාරකයින්ගේ පරාදීසයක් බවට පත්ව ඇති මෙම සිත් ඇදගන්නා ස්ථානය නුවරඑළිය අවට සංචාරය කිරීමේ දී මග හැර නොයා යුතු ස්ථානයකි.  


මෙම ගමන අතරවාරයේ බොහෝ කඩ සාප්පු හමුවන අතර ම මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබට වෙනමම අත්දැකීමක් එක් කරයි. එය සම්පූර්ණයෙන්ම ගොවිතැනට කැප වූ නිස්කලංක ගම්මානයක අත්දැකීමකි. දිය ඇල්ල ඉදිරිපිට පිහිටි සශ්‍රීක හරිත පැහැය ඇල්ලට අමතර අලංකරණයක් එක් කොට ඇත.ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය ඉංග්‍රීසීන්ගේ සමයේ සතුන් දඩයම් කළ බිමක් ලෙස ද හැඳින්වේ.ඇල්ලේ හඬ විශාල අතර එයින් නැගෙන පින්න මීටර් 30 ක් පමණ ඈතට විසි වේ. ඇල්ලට පහළින් දිය නෑමට සුදුසු තැනක් ද ඇති අතර බෝඹුරු ඇල්ලේ ඉහළට මීදුම ගලන විට තවත් සුන්දර ය.ඉතා සුන්දර පරිසරයක පිහිටි මෙම බෝඹුරු ඇලිදාමය මෙරට දිය ඇලි අතර අගනා ආභරණයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

2 Comments

Post a Comment

Previous Post Next Post