ලක්මවගේ හරිත සළුව ලෙසින් හැඳින්වෙන ලෝක උරුමයක් වූ සිංහරාජ වැසි වනාන්තරය ලංකාවේ ඇති එකම වැසි වනාන්තරයයි. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 11187 ක් වන අතර එය ලෝක උරුමයක් බවට පත්වූයේ 1989 දී ය. මෙම සදාහරිත වනාන්තරය රත්නපුරය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇති අතර මෙම වනාන්තරය එක් එක් දිශාවෙන් මායිම්ව ඇත්තේ මෙසේය.
දකුණු දිශාවෙන් - ගිං ගඟ සහ මහදොළ
උතුරු දිශාවෙන් - නාපොළ දොළ සහ කොස්ගුලන ගඟ
බටහිර දිශාවෙන් - කළුකන්දාව ඇළ සහ කුඩාව ගඟ
නැගෙනහිර දිශාවෙන් - මෝනිංසයිඩ් වතු යාය
එසේම වනාන්තරය තුළට පිවිසීම සඳහා ප්‍රධාන මාර්ග හතරක් ඇත.
2).කලවාන - වැද්දාගල මාර්ගය
3).රක්වාන -මෝනිංසයිඩ් මාර්ගය
4).හිනිදුම - නෙළුව මාර්ගය
සතුන් වර්ග පිළිබඳව තොරතුරු ගවේෂණයේදී අතීතයේදී මෙම වනාන්තරය තුළ අලින් බහුලව සිටි බවත් වර්තමානයේදී අලි ගහනය විශාල ලෙස අඩු වී ඇති බවත් වාර්තා වෙයි.එසේම ඕලු මුවා, කොළ දිවියා,ගෝනා, ආදී සතුන් විශේෂ මෙන්ම මෙරටට ආවේණික ක්ෂිරපායි සත්ව විශේෂ 8 ක් ද මෙහිදී දැකගත හැකි ය. හිස අළු දෙමලිච්චා, කැහි බෙල්ලා සහ පතිගෝමර තිරාසිකයා ආදී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 18 ක් ද මෙහි දක්නට ලැබේ.එසේම මෙහි විශේෂ 45 කට අයත් උරගයින් සිටින අතර ඉන් විශේෂ 21 ක් ශ්‍රී ලංකාවට ආවේණික වේ.කෙනිපාතුවැල්ලා හා කුරුන් කරවලා නමැති සර්ප විශේෂයන් මෙන්ම මූකලන් කටුස්සා, කරමල් බෝදිලිමා,පුංචි අං කටුස්සා ආදීන් ද ඒ අතර වේ. තවද ක්ෂිරපායින් 40 ක්,මිරිදිය මත්ස්‍ය විශේෂ 20 ක් සහ සමනළ විශේෂ 65 ක් සිංහරාජ වනාන්තරයේ දී හමුවේ.
සිංහරාජ වනාන්තරයේ ප්‍රධාන ස්ථර පහකට විහිදුණු ශාක ප්‍රජා දැකිය හැකිය.උඩුවියන් ස්ථරය සදහා බටු නා, වැලිපියන්න,කීන,තිනිය දුන්, බෙරලිය, කිරි හැඹිලිය වැනි ශාක අයත් වේ.උප වියන් ස්ථරය හැඩවක, මළබොඩ,දිය නා,කටමොද වැනි ශාක වලින් සමන්විතය. යටි ස්ථරයට අයත් වනුයේ මඩොල් ,අතු කැටිය වැනි ශාක වේ.පඳුරු ස්ථරය පෙරතඹල, පිනිබරු වැනි ශාක වලින් සෑදී තිබේ.අරෝහ ශාක හා කදන් නොමැති ශාක (වල්ගම්මිරිස්, මීවන වර්ග) යනුවෙන් ස්තර වශයෙන් පැහැදිලිව වෙන් කළ හැකි මෙම වනාන්තරයේ දැකිය හැකි ශාක රැසක් ලංකාවට ආවේණික වේ. සියයට හැත්තෑ පහකට අධික ආවේණික ශාකවලින් යුතු සිංහරාජයේ ලෝකයට මෙතෙක් හඳුන්වා නොදුන් ශාක සිය ගණනක් ඇතැයි පර්යේෂකයෝ පවසති. මෙම වනයේ සමස්ත වෘක්ෂලතා සැලකූ විට එහි ඝනත්වය හෙක්ටයාරයකට ඒකකයන් 240,000 කට අධික බැව් පවසන අතරම ඉන් සියයට අනූ පහක්ම බිම් ස්ථරයේ වෙයි.
සිංහරාජය වර්තමානය වන විට විවිධ ගැටලු හා තර්ජනයන්ට ලක්වී ඇති අතර විශේෂයෙන්ම ආවේණික ශාක විශේෂවලට තර්ජනයක් වෙමින් ආක්‍රමණශීලී ශාක වේගයෙන් පැතිරී යෑමත් දක්නට ලැබේ. මානව ක්‍රියාකාරකම් මීට ප්‍රධාන වශයෙන් බලපානු ලබයි.ශ්‍රි ලංකාවේ නාමය ලෝකයට ගෙන යාමට සමත් වූ මෙම හරිත වන පියස මතු පරපුර සඳහා සුරැකිය යුතු අතර එවිට ජෛව විවිධත්වයෙන් අනූන සිංහරාජ වන පෙතේ වටිනාකම තවත් වැඩි වනු ඇත.

😍😍😍😍
ReplyDeleteUseful ❤️
ReplyDelete👍👍👍
ReplyDelete🤩🤩🤩
ReplyDelete👍👍
ReplyDelete🥰🥰
ReplyDeletePost a Comment