දුන්හිඳ දිය ඇල්ල



ශ්‍රි ලංකාව නම් වු සංචාරක පාරාදිසයේ මනරම් දසුන් මෙන්ම මිනිස් ඇසින් දුරස් වූ සොඳුරු බිම් පෙත් බහුල ය. ඒ අතරින් සුන්දර වූ බදුල්ල නගරයේ පිහිටා ඇති දුන්හිඳ දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ නෙත් සිත් පැහැර ගැනීමට සමත් ය.මෙම දිය ඇල්ල බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය උසින් මීටර් 64 ක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඇති අලංකාරම දිය ඇලිවලින් එකක් ලෙස සැලකේ. 


මෙම දිය ඇල්ලේ හැඩය මනාලියන්ගේ වැස්ම පිළිබිඹු කරන බැවින් එය "මනාලී ඇල්ල" ලෙස ද හැඳින්වේ. දිය ඇල්ල පාමුල පැතිර පවත්නා මිදුම (ජල වාෂ්ප) නිසාවෙන් මෙයට මෙම දුන්හිඳ යන නාමය ලැබී ඇත.(දුන් යනු මීදුම හෙවත් දුම යන්නයි) බදුලු ඔය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මෙම මනරම් දිය ඇල්ලේ ආරම්භය පිළිබඳව විවිධ ජනප්‍රවාද පවතී.එකල රජ දවස දුන්හිඳ පතන හා කොස්ගොල්ල අතර පුස්වැලක් තිබී ඇත. 

කලක් ගතවන විට එම පුස්වැල විශාල වී ඊට කුණු රොඩු එකතු වී බදුලු ඔයේ ජල මාර්ගය අවහිර වී ඇත. එය බේසමක් මෙන් දිස්‌ වු අතර බදුල්ල නගරය යටවී ගියේ ය. එවිට රජු අණ බෙර යවා පුස්වැල කප්පවා එය කැපූ තැනැත්තාට තෑගි බෝග පිරිනමා ඇත. එම ජලකඳ පුස්වැල කැපූ ස්ථානයෙන් පහළට ගලා ගිය අතර එයින් දුන්හිඳ ඇල්ල නිර්මාණය විය. මෙහි සඳහන් වන රජු එවකට බදුල්ලේ ප්‍රාදේශීය රජතුමෙකු වූ කුමාරසිංහ රජු බවත් එම රජුගේ නිධන් වස්තු මෙහි ඇති බවත් ඉතිහාසයේ වංශ කතාවෙන් කියවේ. ප්‍රසන්න වෘක්ෂලතා සහිත කඳු බෑවුමක් පසුකර ගිය පසු දුන්හිඳ දිය ඇල්ල ගල්පර සහිත ගල් අතර පටු හිඩැසක් හරහා ගොස් මීටර් 64 ක උස විශ්මයජනක දුම් ඇල්ලක් සාදයි. අවසානයේදී පතුලේ ඇති විශාල ද්‍රෝණියකට කඩා වැටේ. සමනලුන්, වඳුරන්,කුරුල්ලන්, ලස්සන පඳුරු සහ ශාක හා සත්ත්ව විශේෂ වලින් පිරුණු විස්මිත ස්වභාවික පරිසරය දිය ඇල්ලේ චමත්කාරය වැඩි කරයි. දිය ඇල්ලට ළඟා වීම සඳහා කිලෝමීටරයක පමණ දුරක් යාමට සිදුවේ. මාර්ගය අවසානයේ දිය ඇල්ල නැරඹීම සඳහා නරඹන්නන්හට ආරක්ෂිත වේදිකාවක් ඉදි කර ඇත. ප්‍රධාන මාර්ගය අසල වාහන නවතා තැබීමේ පහසුකම් ඇත. ඕනෑම කාලයක සංචාරය කිරීමේ හැකියාව පැවතියද දුන්හිඳ ඇල්ල නැරඹීමට වඩාත් හොඳම කාලය ජූනි සහ ජූලි මාස වේ. මන්ද ඇල්ල පිහිටා ඇති බදුල්ල ප්‍රදේශය දිවා කාලයේ අව්ව සහිත කාලගුණය සමඟ වඩාත් ප්‍රසන්න ලෙස පෙනේ.දුන්හිඳ ඇල්ල ශ්‍රී ලංකාවේ නැරඹිය යුතුම ස්වභාවික ආකර්ෂණයක් ගෙන දෙන සුන්දර දිය ඇල්ලක් වන අතර දර්ශනීය සුන්දරත්වය මෙන්ම ත්‍රාසජනක සහ සන්සුන්බවේ අද්විතය සංකලනයක් සපයයි. ඔබ සොබාදහමට ආදරය කරන්නෙකු හෝ එදිනෙදා ජීවිතයෙන් මිදීමට උත්සාහ කරන කෙනෙකු වුවද දුන්හිඳ දිය ඇල්ල අමතක නොවන අත්දැකීමක් ලබා දෙනු නිසැක ය.

5 Comments

Post a Comment

Previous Post Next Post